සභා ඉතිහාසය

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය බටහිරින් ජා ඇල, වත්තල, කැලණිය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද, නැගෙනහිරින් අත්තනගල්ල, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද උතුරින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, මායිම් වී ඇත. වර්ග කි.මී. 98.3 ක විශාලත්වයෙන් යුත් මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරි කොට්ඨාශ 92 කින් සමන්විත වේ. මෙම කොට්ඨාශයේ මුළු ජනගහනය 216763 කි. මෙම ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් සිංහල වන අතර, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ජන කොටස්ද ඒ අතර වේ.

වී, පොල්, රබර් මෙම කොට්ඨාශයේ ප්‍රධාන ආර්ථික නිෂ්පාදන භෝග වන අතර, වී වගාවේ මුළු බිම් ප්‍රමාණය හෙ.1298 ක් පොල් වගාව හෙ.7891 ක් හා රබර් වගාව අක්කර 323ක් පුරා පැතිරී ඇත. සුළු අපනයන භෝග වගා කර ඇති අතර, මීට අමතරව සත්ත්ව පාලනයද කරනු ලැබේ.

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 92ක් ලෙස බෙදා වෙන්කර ඇති අතර, පළාත් පාලන මායිම් වශයෙන් ගෙන බැලුවද මෙම කොට්ඨාශය මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වේ. මැතිවරණ කොට්ඨාශයද මහර මැතිවරණ කොට්ඨාශයම වේ.

ඊට අමතරව මෙම ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමකින්ද යුක්තය. ‍ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන කිහිපයක් ලෙස වලගම්බා රජමහා විහාරය, පිළිකුත්තුව රජමහා විහාරය, මාලිගාතැන්න විවේක සේනාසනය, වෑබඩ පන්සල, වරපලාන ටැම්පිට පිළිමගෙය දැක්වීය හැකිය. වසර 30,000 ට පෙර ජීවත් වූ මානව සංහතියේ ගල්ලෙන් පිළිකුත්තුව රජ මහා විහාරය අවටින් දැක ගත හැකිය. එම පුරාණ ගල්ලෙන් වලින් බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි හමු වී ඇත. දනවුකන්ද ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයකි. ඉසිගිලිකන්ද දර්ශනීය කඳු මුදුනක පිහිටි පන්සලකි. යෝගාශ්‍රමයක්ද සහිතය.


මහජන නියෝජිතයින් ලේකම්වරුන්